(ජයකාන්ත ලියනගේ)
කොස්ගොඩ පොලිස් වසම තුල එකම පවුලේ තිදෙනෙකු (03) ඇතුළු සිව් (04) දෙනෙකු වෙඩිතබා ඝාතනය කර එක් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමට අදාල සිද්ධියේ ප‍්‍රධානතම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (12) රාත‍්‍රී 11.30 ට පමණ කොස්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (13) සවස බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මෙනවිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 2 කණුව, නානතොට, කොස්ගොඩ පදිංචි සුවාරිස් දේශාන් උදාර අබේසේකර (24) නැමැති අයයි.
සැකකරු අහුන්ගල්ල, කටුවිල ප‍්‍රදේශයේ තම්බිගේවත්ත හා කටුවිල කණිටු විදුහල අසල කුරුඳු කැලෑවක සිටියදි කොස්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ටී - 56, සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවිය සොයා ගැනිම සදහා සහ හදුනාගෙන සිටින අනෙක් සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගැනිම සදහා තව දුරටත් පොලිස් පරික්ෂණ පවත්වන බවත් කොස්ගොඩ පොලිසිය කියයි.
කොස්ගොඩ පොලිස් වසමේ යුධපිටිය අසල, කොස්ගොඩ පාර, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51), ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ තිදෙනා සහ මැණික් ගම්මානය, කොස්ගොඩ ලිපිනයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ කපිලරත්න පෙරේරා (39) යන සිව් (04) දෙනා වෙඩිතබා ඝාතනය කිරිම සහ කුරුඳුගම් පියස, කොස්ගොඩ ලිපිනයේ පදිංචි නිලෙන්ති සුදිල සුරන්ජන ද සිල්වා (14) නැමැති අයට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනයන් හා තුවාල සිදු කිරිම පසුගිය 29 දා අළුයම 4.00 ත් 4.30 ත් අතර කාලය තුලදී සිදුව තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. එදින අළුයම ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ සිට කොස්ගොඩ ලෑලිහේත්තුව දෙසට කඨින පිංකමක චීවරය රැුගෙන පැමිණි පෙරහැරට මියගිය ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51) සිය බිරිය සමග එම පෙරහැරේ කඨින චිවරයට පඩුරු පූජා කර නැවත නිවසට ගොස් දොරවසා ගැනීමට සූදානම් වී ඇත. එම අවස්ථාවේ යමෙකු එලියෙන් මහින්ද අයියේ යැයි කියා කතා කොට දොර අරින ලෙස ඉල්ලීමක් කර ඇත. දොර අරිනවාත් සමගම එලියේ සිට ඔහුට වෙඩි තබා තිබෙන බවත් පසුව නිවස තුලට ගොස් නිවසේ කාමර දෙකක නිදා සිටි දරුවන් දෙදෙනාටද වෙඩි තබා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබිණි.
Lanka Newsweek © 2026